26 September 2011

CCNA දහ නවවන පාඩම Routing vi (Interior Gateway Routing Protocol)

CCNA දහ නවවන පාඩම Routing vi (Interior Gateway Routing Protocol)
                                 මේ පාඩමෙන් අපිට කතාකරන්න තියෙන්නෙ කලින් Routing  පාඩම් වලදි කතා කරපු Dynamic routing protocol වර්ගීකරණයේ තියෙන Distance vector Routing protocol කොටසට අයත්  classfull routing protocol එකක් වෙන IGRP (Interior Gatewar Routing Protocol) එක ගැනයි. මේ පාඩම බලන්න කලින් පහතින් තියෙන සබැදියන්ගෙන් ගිහින් පහුගිය පාඩම් ටිකනම් බලන්නම වෙනව.නැත්තම් මේ පාඩම විතරක් බැලුවට CCNA කරන්න ඉන්න අළුත් එක්කෙනෙකුටනම් මොකුත්ම තේරෙන්නෙ නැතිවෙයි.
                                Routing i
                                Routing ii
                                Routing iii
                                Routing iv
                                Routing v
                 IGRP ගැන කතාකරද්දි මුලින්ම කියන්න ඕන දේ තමයි මේ routing protocol එකට Distance vector routing protocol ලක්ෂණත් classfull routing protocol ලක්ෂණත් පෙරන්මිතියෙන්ම අඩංගු වෙනව. ඒ හින්දයි මුලින්ම කිව්වෙ පසුගිය පාඩම් ටික බලලම මේ පාඩමට එන්න කියල. IGRP එක ගැන කෙටියෙන් කිව්වොත්, උඩින් සදහන් කරපු ලක්ෂණ හින්ද routing loop ඇතිවීම IGRP වලදි දකින්න පුළුවන්. ඒ වගේම routing loop ඇතිවීම වලක්ව ගන්න යොදාගන්න ක්‍රමවේදයනුත් IGRP වලදි කලින් පාඩම් වලදි කතා කෙරුව වගේම යොදාගන්නව. තව දෙයක් තියෙනව IGRP ගැන කියන්න, ඒ තමයි IGRP එක cisco ලටම අයිති protocol එකක්. ඒක හින්ද අපිට IGRP වලට කියන්න පුළුවන් cisco proprietary protocol එකක් කියලත්.   එහෙන්ම දැන් බලමු IGRP වල ලක්ෂණ මොනවද කියල. මේ පාඩමේදි කලින් Routing පාඩම් වලදි  කතාකරපු routing protocol වල ලක්ෂණත් තියෙන හින්ද ගොඩක් විස්තරත් ඇතුව ඒ ලක්ෂණ පැහැදිලි කරන්නෙ නෑ. කෙටියෙන තමයි ඒ ගැන පැහැදිලි කරල තියෙන්නෙ.   හරි මෙන්න මෙව්ව තමයි IGRP වල ගතිලක්ෂණ.
  • IGRP එකත් classfull Routing protocol එකක් හින්ද සම්පූර්ණ routing table එකම සෑම තත්පර 90 කට වරක් අනෙක් Routers වලට routing update විදියට යවනව.
  • IGRP වල Administrative distance  එක වෙන්නෙ 100.
  • Network එකක් තුල hops 100 දක්වා පමනයි IGRP පෙරනිමිතියෙන් සහයෝගය දක්වන්නෙ. හැබැයි අපිට පොඩි command එකක් පාවිච්චි කරල උපරිම hops 255 දක්වා ඒක වැඩි කරගන්න පුළුවන්, ඒ කියන්නෙ IGRP උපරිම hops 255 දක්වා සහයෝගය දක්වනව කියලයි.
  • IGRP වල metric එක (අනෙක් network වෙත ලගාවෙන්න හොදම මාර්ගය තෝරාගන්නා ක්‍රමය) වෙන්නෙ ප්‍රධාන වශයෙන් distance එකයි. මේ distance එක ගණනය කරන්න bandwidth එක හා delay of the line කියන දේවල් බාවිතා කරනව. ඊට අමතරව reliability,load සහ MTU කියන ඒවත් metric එක ගණනය කරන්න යොදාගන්නව.
                        IGRP වල  අනිත් ලක්ෂණ බලන්න කලින් කොහොමද මේ metric එක ගණනය කරන්නෙ කියල පොඩ්ඩක් හොයල බලමු. මෙතනදි කියන්න දෙයක් තියෙනව, ඒ තමයි   IGRP වලදි metric එක ගණනය කරන විදිය ටිකක් විතර සංකීර්ණ එකක්. ඒක හින්ද මම පහලින් පෙන්නල තියෙන්නෙ සරල විදියට  IGRP මගින් bandwidth එක යොදාගෙන  අනෙක් network වලට ලගාවෙන්න පුළුවන් හොදම මාර්ගය එහෙමත් නැත්තම් best path  එක හොයාගන්න විදියයි. අනික Router එක ස්වයංක්‍රීයවම  මේ සේරම ගණනය කිරීම් කර ගන්නවනම් අපි මොකටද ඕක හොයන්න ඔච්චරම මහන්සි වෙන්නෙ නේද.   හරි දැන් පහලින් තියෙන රූප සටහන දිහා පොඩ්ඩක් බලමු....
කලින් කියපු විදියට IGRP වලදි bandwidth එක යොදාගෙන metric එක ගණනය කරන හැටි සරලව මේ උදාහරණයෙන් බලමු. Router 1 වල network1 එකේ තියෙන පරිගණයකට ඕන Router3 එකේ network2 වල තියෙන පරිගණකයකට data packet යවන්න. දැන් Router1 එකට network2 වෙත යන්න උඩින් තියෙන රූපෙ විදියටනම් මාර්ගයන් 3ක් තියෙනව.
1.  Router1 ----> Router2 ----> Router3
                128kbps          +         128 kbps = 256 kbps
2.  Router1 ----> Router3
                          64kbps = 64kbps
3.  Router1 ----> Router5 ----> Router4 ----> Router3
                         256kbps          +         256kbps          +         256kbps = 768kbps
                                       හරි ඔය උඩින් පෙන්නල තියෙන්නෙ ඒ මාර්ගයන් 3න හා මාර්ගයන් වල bandwidth වල එකතුවත් එක්කයි. දැන් IGRP බලනව මොකද්ද වැඩියෙන්ම bandwidth තියෙන මාර්ගය කියල.ඊට පස්සෙ තමයි අනිත් අතුරු කාරණා ටිකත් බලල IGRP  තීරණය කරන්නෙ මොකක්ද හොදම මාර්ගය network 1 වල ඉදල network2 වලට යන්න. අපේ උදාහරණය විදියටනම් හොදම මාර්ගය වෙන්නෙ තුන්වෙනි මාර්ගයයි, මොකද එකෙ තමයි වැඩිම bandwidth එකක් තියෙන්නෙ. IGRP වලදි metric එක ගණනය කරන්නෙ highest bandwidth and lowest delay වල එකතුවෙන් කියල සරලව මතක තියාගන්න.ඔයාලට හරියටම IGRP වලදි metric එක ගණනය කරන හැටි CISCO මාමලාගෙන්ම අහගන්න පුළුවන්   පහල තියෙන සබැදියෙන් ගිහින්.
http://www.cisco.com/en/US/tech/tk365/technologies_tech_note09186a008009405c.shtml#findingmetric
http://www.cisco.com/en/US/docs/ios/12_0/np1/command/reference/1rigrp.html
දැන් අපි බලමු මගින් නවත්වපු IGRP වල තියෙන අනිත් ලක්ෂණ මොනවද කියල..

  • IGRP සැකසුම් කරපු Routers 255.255.255.255 කියන broadcast address එක තමයි routing update අනිත් Routers වලට යවන්න උපයෝගි කරගන්නෙ.
  • කලින් පාඩම් වලදි RIP යටතෙ අපි කතා කෙරුව timers හතරක් ගැන. අන්න ඒ timers ඒ විදියටම IGRP වලදිත් බාවිතා වෙනව. හැබැයි පොඩි වෙනස්කමකුත් එක්ක. ඒ තමයි IGRP timers වල කාලයේ පවතින වෙනස.ඒ කිව්වේ IGRP timers RIP timers වලට වඩා වැඩි කාලයකින් යුක්ත වීමයි (timers ගැන කලින් පාඩම් වලදි විස්තරත් එක්කම කතාකරල තියෙනව). පහතින් තියෙන්නෙ IGRP වල පෙරනිමිතියෙන්ම සැකසිල තියෙන timers වල අගයනුයි.
  1. Update timer           - තත්පර 90
  2. Invalid timer           - තත්පර 270
  3. Hold - down timer  - තත්පර 280
  4. Flush timer              - තත්පර 630
  • IGRP සැකසුම් කරපු Router අතර routing update හුවමාරු වෙන්නෙ එකම Autonomous system number එකකින් එම Routers වලට IGRP සැකසුම් කරල තිබුනොත් විතරයි. ඒ කිව්වේ Autonomous system number එක අසමාන විදියට network එකේ Router වලට සැකසුම් කරල තියෙනවනම් ඒ Routers අතර routing update හුවමාරු වෙන්නේ නෑ. කියපු දේ තේරුනේ නැතත් අවුලක් නෑ. මේ ඇටේ නම්බරේ මොකක්ද කියල ක්‍රියාකාරකම් කරද්දි ඔයාලට හොදටම තේරෙයි.
                                      හරි දැන් ක්‍රියාකාරකම් වලට යමු.ඊට කලින් බලමු මොනවද IGRP සැකසුම් කරන්න ඕන වෙන command කියල.
Router(config)# router igrp < autonomous system number >
Router(config-route)#network <network address>
ඔය command තමයි IGRP සැකසුම් කරන්න බාවිතා කරන්නෙ. පළවෙනි command එකේ තියෙන autonomous system number කියන තැනට 0 -65536 අතර කැමති ඉලක්කමක් දාන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඒ ඉලක්කමම තමයි network එකේ IGRP සැකසුම් කරන අනිත් හැම Router එකකටමත් දැමිය යුතු වීම. එහෙම දැම්මෙ නැත්තන් වෙන වැඩේ මම කලින්ම කිව්වනේ. එහෙනම් දැන් තියෙන්නෙ ක්‍රියාකාරකම කරල බලන්න..
මේ ක්‍රියාකාරකමේදිත් කලින් පාඩම් වලදි කලා වගේම ඔයාලට කැමති IP address දාල Router වලට මුලික සැකසුම් කරගන්න. ඒ කිව්වෙ interface සැකසුම්, serial interface වලට cock rate set කිරිම වාග් දේවල්. හැබැයි IGRP කියන්නෙ classfull routing protocol එකක් හින්ද ක්‍රියාකාරකමට IP address දාද්දි ඒක ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න (කලින් පාඩම් වලදි මේ ගැන කතා කරල තියෙනව).හරි දැන් අපි උඩ තියෙන ක්‍රියාකාරකමට අදාල Routers වලට IGRP සැකසුම් කරමු.
Router1 සදහා IGRP සැකසුම්.
Router2 සදහා IGRP සැකසුම්.
Router3 සදහා IGRP සැකසුම්.
දැන් ක්‍රියාකාරකමේ තියෙන Router සේරටම IGRP සැකසුම් කරල ඉවරයි. එක Router එකක ඉදල අනිත් Router වල network වලට data packet යවල හරි ping කරල හරි බලන්නෙ අපි කරපු IGRP සැකසුම් හරිද කියල.
                                  තව පොඩි IGRP සැකසුමක් ඉතුරුවෙලා තියෙනව කතා කරන්න, ඒ තමයි පාඩම මුලදි කියපු IGRP පෙරනිමිතියෙන් hops 100 දක්වා විතරයි සහයෝගය දක්වන්නෙ හා පොඩි සැකසුමකින් ඒක උපරිම hops 255 දක්වා සහයෝගය දක්වන විදියට සකසන්න පුළුවන් කියල කියපු කතාව. ඒක කරන්නෙ මෙහෙමයි..
මේ පොඩි command එකෙන් පස්සෙ IGRP සැකසුම් කරපු Router එක උපරිම hops 255 දක්වා සහයෝගය දක්වනව. දැන් බලමු IGRP සැකසුම් වල තොරතුරු බලාගන්න පුළුවන් command ටිකක්.
**IGRP route විතරක් routing table එකෙන් බලා ගැනීම.
                        Router1#show ip route igrp
**IGRP debugging (routing update සිදුවන ආකාරය) තොරතුරු බැලීම.
                        Router1#debug ip igrp transaction 
                        Router1#debug ip igrp events
දැන්නම් IGRP සැකසුම් සේරම කතා කරල ඉවරයි. ඉවර නෑ තව එකක් ඉතුරුවෙලා තියනව කතා කරන්න.ඒ තමයි IGRP සැකසුම් Router එකෙන් ඉවත් කරන විදිය.ඒක කරන්නෙ මෙහෙමයි..
Router1(config)#no router igrp 10 (මතක ඇතුව command එකේ අවසානෙට IGRP සැකසුම් කරද්දි දාපු ඇටේ නම්බරේම දාන්න)
                                          දැන්නම් IGRP ගැන කතාකරල ඉවරයි. තව අපිට තියෙන්නෙ OSPF හා EIGRP කියන routing protocol දෙක ගැන කතාකරන්න විතරයි. එතකොට CCNA routing පාඩම් ටික ඉවර වෙනව. ඊට පස්සෙ ACL එහෙමත් නැත්තම් access control list ගැන අපි කතා කරමු.තවත් අළුත් පාඩමකින් හම්බවෙනකන් කට්ටියටම..
***** ජය ශ්‍රී *****

18 September 2011

CCNA දහ අටවන පාඩම Routing v (RIP configuration)

CCNA දහ අටවන පාඩම Routing v (RIP configuration)
                                                  මේ පාඩම පටන්ගන්නෙ කලින් ලිපියෙදි කතාකරපු RIP (Routing Information Protocol) එක කොහොමද Router එකට සැකසුම් කරන්නෙ කියලයි. ඊට කලින් අපිට දා හත්වන පාඩමේදි මගඇරුනු RIPv1 හා RIPv2 ගැන වෙන වෙනමත් ටිකක් කතාකරන්න තියෙනව. කලින් පාඩම බලපු නැති කට්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒ පාඩම බලලම මේ පාඩමට එන්න. අපි කලින් පාඩමේදි කතා කරපු RIP වල තියෙන හැම ලක්ෂණයක්ම RIPv1 හා RIPv2 වල තියෙනව. දැන් අපි බලන්න යන්නෙ මේ version දෙකට තියෙන වෙනස් ලක්ෂණත්, RIPv1 හා RIPv2 Router එකට සැකසුම් කරන විදියත් ගැනයි. 
  • RIPv1 :
                      කලින් පාඩමේ RIP වල තිබුනු ලක්ෂණ වලට අමතරව RIPv1 එකේ දකින්න තියෙන විශේෂ ලක්ෂණ වෙන්නෙ මේවයි.
  1. RIPv1 කියන්නෙ classfull routing protocol  එකක්.(classfull ගැන දැනගන්න ඕනනම් CCNA පහලොස්වන පාඩම බලන්න)
  2. RIPv1 වලදි routing updates අනිත් Routers වලට යවන්න යොදාගන්නෙ 255.255.255.255 කියන broadcast IP address එකයි. (broadcast කියන්නෙ මොකද්ද කියල දැනගන්න මෙතනින් ගිහින් transmission පාඩම බලන්න) 
හරි දැන් තියෙන්නෙ අපිට RIPv1 Router වලට  සැකසුම් කරල Router වල තියෙන network අතර සමබන්ධතාවයක් ගොඩනගාගන්නෙ කොහොමද කියල බලන්නයි. මුලින්ම බලමු RIPv1 එක සැකසුම් කරන්න යොදාගන්න command මොනවද කියල. distance vector routing protocol ගැන කතාකරද්දි කිව්ව මතකයිනේද Router සදහා මේ protocol සැකසුම් කිරීම ගොඩක් පහසුයි කියල. එහෙනම් මෙන්න මේවයි අපිට ඕන වෙන command ටික.
Router(config)# router rip
Router(config-route)#network <network address>   
දෙවනි command එකේ <network address> කියන තැනට දාන්න ඕන අපි සැකසුම් කරන Router එකේ directly connected network වල network address.එහෙනම් පල්ලැහැ තියෙන ක්‍රියාකාරකම කරන ගමන්ම බලමු කොහොමද RIPv1 Router එකට සැකසුම් කරන්නෙ කියල. 
                                      ඔයාලට කැමති විදියට IP address බාවිතා කරල ඉහත විදියට network එක හදාගන්න (ඔයාලගෙම විදියකට හදාගත්තත් කමක් නෑ, මම  කරල පෙන්නන්නෙ ඉහත රුපෙ තියෙන විදියටයි). Router වලට network හදද්දි ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද RIPv1 classfull routing protocol එකක් හින්ද VLSM වලට සහයෝගය දක්වන්නෙ නැහැ. එහෙමත් නැත්තම් subnet කරපු network අතර සම්බන්ධතාවයන් ගොඩනගාගන්න යොදාගන්න බැහැ. කියපු දේ තේරුනේ නැති කෙනෙක් ඉන්නවනම් ආයෙත් පසුගිය routing පාඩම් ටිකනම් බලන්නම වෙනව. නැත්තම් මේ පාඩම තේරෙන්නෙම නැතිවෙයි. එත් එක්කම මම දාල තියෙන IP address ගැන මොකක්හරි ප්‍රෂ්ණයක් තිබුනොත් අහන්නත් අමතක කරන්න එපා.
                                 උඩින් පෙන්නල තියෙන ක්‍රියාකාරකම කරන්න ඉස්සෙල්ල මුලින්ම කරන්න ඕන දේ තමයි Router වල interface වලට IP address සැකසුම් කරල serial interface වලට clock rate සැකසුම් කරල ඒ සැකසුම් Router එකේ ගබඩා කරගන්න එකයි (මේ සියළු දේවල් කරන හැටි පසුගිය පාඩම් වලින් විස්තර කරල තියෙනව). හරි දැන් එහෙමනම් ඉස්සෙල්ලම Router1 වලට RIPv1 සැකසුම් කරමු.
              Router1 වල RIPv1 සැකසුම් දැන් ඉවරයි. දැන් ඔයාලට ගැටළුවක් ඇති ඇයි Router1 එකේ තියෙන network වල හරි network address එක මෙතනට දාල නැත්තෙ කියල. හරියට මම පහලින් පෙන්නල තියෙනව වගේ.
                                   ඒකටත් හේතුවක් තියෙනව. ඒක තමයි RIPv1  වලදි routing update සමග subnet mask එක advertise නොකරන නිසා (classfull routing protocol වල ලක්ෂණයකි), අපි හරි network address එක දමා Router එකට RIPv1 සැකසුවත් RIPv1 එය advertise කරන්නෙ  classfull network address එකක් විදියටයි. එමනිසා අපිට කෙලින්ම RIPv1 සැකසුම් කරද්දි ලේසියෙන්ම IP address එක අයත් වන class එකේ network address එක Router එකට සැකසුම් කරන්න හැකිවෙනව. ඔයාලට කැමතිනම් subnet mask එකට ගැලපෙන විදියට network address එක Router එකට සැකසුව කියල Router එක තරහ වෙන්නෙ නම් නෑ. එහෙමත් RIPv1 වැඩකරනව.
දැන් අපි උඩින් කතාකරපු දේවල් ටික මතක් කරගෙනම Router2 එකට RIPv1 සැකසුම් කරමු.
                                           හරි දැන් අපි Router දෙකටම RIPv1 සැකසුම් කරල ඉවරයි. දැන් කරපු සැකසුම් Router එකේ ගබඩා කරල  එක් Router එකක ඉදල තවත් Router එකකට data packet හරි ping කරල හරි බලන්න. ඒ වගේම දැන් අපිට පුළුවන් Router වලට කරපු RIPv1 සැකසුම්  නිසා Routing update මගින් Router තමන්ගෙ Routing table එක හදාගෙන තියෙන හැටිත් බලන්න. show ip route කියන command එක තමයි ඒකට පාවිච්චි කරන්නෙ. හරි දැන් අපි බලමු Router1 වල routing table එක.
 දැන් පේනව නේද RIP routing update මගින් Router2 වල තියෙන network වලට අදාලව routes Router1 එකේ හැදිල තියෙන හැටි. ඒ වගේම Router එක විසින්RIP update වලින් ලබාගත්තු route විතරක් show ip route rip කියන command එකෙන් බලාගන්න පුළුවන්. 
Router එක හරහා RIP routing update සිද්ධවෙන හැටි අපිට සජීවීවම debug ip rip කියන command එක හරහා බලාගන්න පුළුවන්.
මතක තියාගන්න මේ විදියට debug තොරතුරු බලද්දි Router එක නොකඩවා (අපි නවත්වන තුරු) update වීම් පෙන්වනව. ඒක නවත්වන්න නම් undebug all කියන command එක බාවිතා කරන්න වෙනව. දැන් බලමු කොහොමද ‍අපි මෙච්චර වෙලාම Router එකට කරපු RIP සැකසුම් පමනක් Router එකෙන් අයින් කරන්නෙ කියල. හරි ලේසියි, no router rip කියන command එක විතරයි ඒකට අපිට ඕන වෙන්නෙ. මේ command එක Router එකට දුන්න ගමන්ම RIP configuration සියල්ලම නැතිවෙලා යනව. හරි දැන් අපි RIPv1 ඇති කරන තැනේ ඉදල නැති කරන තැන වෙනකම්ම කතා කලා. ඒ වැඩේම RIPV2 වලටත් කරලම බලමු.

  • RIPv2 :
                           RIPv2 වලට විතරක් අවේනික වුනු ගතිලක්ෂණ තමයි දැන් බලන්න තියෙන්නෙ. කලින් කතාකරපු RIPv1 වලට වඩා ගොඩක් පහසු විදියට network එක තුල RIPv2 එක යොදාගන්න පුළුවන්. ඒකට හේතු තමයි පහලින් පෙන්නල තියෙන්නෙ.
  1. RIPv2 කියන්නෙ classless routing protocol එකක්. ඒ කියන්නෙ VLSM වලට සහයෝගය දක්වන එහෙමත් නැත්තම් අපිට අවශය විදියට subnet කරපු network Router හරහා එකින් එක සම්බන්ද කරන්න පුළුවන් routing protocol එකක්.  
  2. RIPv2 වලදී routing update අනෙක් Routers වලට යවන්න යොදාගන්නෙ 224.0.0.9 කියන multicast address එකයි.
දැන් තියෙන්නෙ RIPv2 Router එකට සැකසුම් කරන්නයි. ඒකටත් මම පහලින් තියෙන network එක උදාහරණයක් විදියට අරන් තමයි සැකසුම් කරල පෙන්නන්නෙ. කලින් කිව්ව වගේ ඔයාලගෙම network design එකක් අරන් RIPv2 සැකසුම් කරන්න බලන්න. 
                            හරි දැන් මේ network එකේ තියෙන Router වලටත් කලින් ක්‍රියාකාරකමේ කෙරුව වගේම interfaces හා clock rate සැකසුම් ඔයාල හදාගන්න. මෙතනදි මම පෙන්නන්නෙ RIPv2 Router එකට සැකසුම් කරන හැටි විතරයි. පහලින් දාල තියෙන්නෙ RIPv2 සැකසුම් සදහා අවශ්‍ය වෙන command ටික.
Router(config)# router rip
Router(config-router)#version 2 
Router(config-router)#network <network address>
Router(config-router)#no auto-summery
      දැන් බලමු මේ command එකින් එක මොනවද කියල. router rip කියන එකෙන් Router එකට දන්වනව RIP protocol සැකසුම් කරන බව හා version 2 කියන එකෙන් එය RIPv2 බවත් Router එකට දන්වනව. network කියන command එක ගැනනනම් අපි කලිනුත් කතා කලානෙ. හැබැයි මෙතනදිනම් subnet mask එකට ගැලපෙනම network address එක දාන්න වෙනව.මොකද RIPv2 classless routing protocol එකක් හින්ද. ඊලගට තියෙන්නෙ වැදගත්ම command එක. no auto-summery කියන command එක හින්ද තමයි Router එක විසින් network address එක classfull විදියට නොගෙන අදාල subnet mask එකේ විදියට ගන්නෙ. අපි no auto-summery කියන command එක RIPv2 වල බාවිතා කලේ නැත්තම් subnet කරපු network තියෙන Routers එකින් එක සම්බන්ධ කරන්න බැරිවෙනව (ඒකට හේතුව වෙන්නෙ RIPv2 විසින් network address එක classfull විදියට summarize කිරීමයි). ඒ කියන්නෙ නැවතත් අපි RIPv1 ම Router වලට සැකසුම් කලා හා සමාන වෙනව.දැන් Router  වලටකලින් කතාකරපු command යොදාගෙන සැකසුමු කරමු.
*ඉස්සෙල්ලාම Router1 වලට සැකසුම් කරමු...
*Router2 සැකසුම්...
*Router3 සැකසුම්...
RIPv2 වලදිත් අපි RIPv1 වල අන්තිමට කතා කරපු command ටික බාවිතා කරල routing table එක බැලීම, debuging තොරතුරු බැලීම වැනි දේ කරන්න පුළුවන්. උදාහරණයක් විදියට Router1 වල තොරතුරු බලමු.
**show ip route හරහා Router1 වල routing table එක බැලීම
                            මේ විදියටම show ip router rip හරහා routing table එකේ තියෙන RIP route පමණක්ද, debug ip rip කියන command එක හරහා RIPv2 තුල සිද්ධවෙන කටයුතුත් අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම no router rip වලින් කලින් වගේම RIP සැකසුම් නැතිකරල දාන්නත් පුළුවන්. දඅන්නම් RIPv1 හා RIPv2 සැකසුම් Router වලට කරන හැටි අපි ඉගෙන ගෙන ඉවරයි. RIP වලදි කරන්න පුළුවන් තවත් පොඩි සැකසුම් ටිකක් දැන් බලමු. මම කලින් පාඩමේදි RIP routing loop ඇතිවෙන එක වලක්ව ගන්න යොදාගන්න timers වගයක් ගැන කිව්ව මතනයි නේද. අන්න ඒ timers වල පෙරනිමිති අගයන් එහෙමත් නැත්තන් default අගයන් තමයි මම එතන දාල තිබ්බෙ. ඒ අගයන් අපි කැමති විදියට පහත විදියට වෙනස් කරගන්නත් පුළුවන්.


RIP passive interface:
                       RIP වලදී Router එකට තවත් පොඩි සැකසුමක් අපිට කරන්න පුළුවන්. ඒ තමයි RIP passive interface සැකසුම. මොකක්ද මේ passive interface එකෙන් කරන්නෙ, passive අකාරයට සැකසුම් කරපු interface එකකින් Routing updates එම interface එක හා සම්බන්ධ අනිත් Routers වලට යැවීමෙන් වලකිනව. නමුත් ඒ interface එක හරහා අනෙක් Routers වලින් එවන routing update ලබාගැනීමනම් සිදුකරනව. පහත තියෙන විදියට තමයි RIP වලදි Router එකකට passive interface එකක් සකසන්නෙ.
Router එකකට RIP සැකසුම් වලින් පසු  passive-interface default යන command එක ගැසුවොත් එම Router එකේ සියළුම interfaces passive interfaces බවට පත්වෙනව.


දැන්නම් අපි මේ පාඩම හරහා RIP වලදී කතාකලයුතු සියළුම දේ කතාකලා කියලයි මටනම් හිතෙන්නෙ. මට මගඇරුන දෙයක් තියයෙනවනම් ඒ ගැන කියන්න. ඒ වගේම මේ පාඩමට අදාල තවත් ගැටළු තියෙනවනම් අහන්නත් අමතක කරන්න එපා. එහෙන්ම ඊලග පාඩමෙන් තවත් Dynamic Routing protocol එකක් සමග හමුවෙමු.එතෙක් ඔබට 


 ***** ජය ශ්‍රී ******

12 September 2011

CCNA දාහත්වන පාඩම Routing iv (Routing Information protocol)

CCNA දාහත්වන පාඩම Routing iv (Routing Information protocol)
                                                      මේ පාඩමේ ඉදල අපි කතාකරන්න පටන්ගන්නෙ එක් එක් වර්ගීකරණයට අයත් Routing protocol ගැන වැඩිදුර විස්තරයි. ඒ වගේම ඒ routing protocol, Router එකට සැකසුම් කරල network එකේ තියෙන අනෙත් Routers සමග සබග සම්බන්ධතාවක් ගොඩනගාගන්නෙ කොහොමද කියලත් මේ පාඩමෙන් බලන්න පුළුවන්. මුලින්ම අපි කතාකරන්නෙ Distance vector Routing protocol වලට අයත් වෙන routing protocol එකක් ගැනයි.ඒ තමයි අපේ මුල්ම routing protocol එක වෙන  RIP (Routing Information Protocol).                             
                                          RIP එකට Distance vector Routing protocol යටතේ කතාකරපු ලක්ෂණ සේරම අන්තර්ගත වෙනව. ඒ ලක්ෂණ මතක නැත්තන් මෙතනින් ගහින් ඒ ලිපිය බලලම මේ පාඩමට එන්න. RIP වල සංස්කරණයන් එහෙමත් නැත්තන් සිංහලෙන් කියනවනම් version දෙකක් තියෙනව. ඒ තමයි RIPv1 හා RIPv2. පළමු අවස්තාවෙ තිබිච්ච දුර්වලතා මගහරවන්න තමයි දෙවනි සංස්කරණය එහෙමත් නැත්තන් RIPv2 හදුන්වල දීල තියෙන්නෙ. හරියට IPv4 වලට පස්සෙ IPv6 හදුන්වල දුන්න වගේ. මුලින්ම අපි බලමු RIP වල තියෙන විශේෂ ලක්ෂණ, ඊට පස්සෙ බලමු RIPv1 හා RIPv2 වල දකින් තියෙන විශේෂ ලක්ෂණ වෙන වෙනම මොනවද කියල. දැනටමත් දන්නවනෙ RIP වල Distance vector Routing protocol ලක්ෂණ පෙරනිමිතියෙන්ම තියෙනව කියල. දැන් අපි බලමු ඒ මෙනවද කියල.
  • මුලින්ම කියන්න ඕන දේ තමයි RIP වල Administrative distance එක වෙන්නෙ 120. (Administrative distance එක කියන්නෙ මොකක්ද කියල මේ පාඩම බැලුවොත් ඔයාලට තේරෙයි. බලපු කට්ටිය ආයෙත් ඒ පාඩම බලල මොංගල් වෙන්නැතුව මේ පාඩම විතරක් බලන්න:)  
  • RIP වලදී Metric value එක ගණනය කරගන්න යොදාගන්නෙ hop count ප්‍රමානයයි (hop එකක් කියන්නෙ network එකේ තියෙන Router එකක් කියල මතක තියාගන්න). උඩ තියෙන සබදියෙන් තියෙන පාඩම බලලනම් තියෙන්නෙ දැන් ඔයාල දන්නව metric value එක තමයි යොදාගන්නෙ best path (අනෙත් Routers වලට ලගාවීමට හොදම මාර්ගය) තෝරගන්න. RIP වලනනම්  පහල තියෙන රූපෙ විදියට තමයි metric value එක මාර්ගයෙන් best path එක තෝරගන්නෙ.
    දැන් බලන්න network 1 ඉදල network 2 එකට data packet එකක් යවන් ඕන කියල හිතමු. මේ network එකේනම් ඒ සදහා පාරවල් 3ක් තියෙනව. (පහලින් hop විදියට දක්වල තියෙන්නෙ source network එකේ ඉදල destination network එකට ගමන් කිරීමේදී පසුකල යුතු Routers ප්‍රමාණයයි. )

    1.Router 1-----> Router 2-----> Router 3 = 2 hops
    2.Router 1-----> Router 3 = 1 hop
    3.Router 1-----> Router 5-----> Router4-----> Router 3 = 3 hops
                                          
                         දැන් මෙතනදි අඩුම hop count එකක් තියෙන path එක තමයි best path එක විදිය‍ට RIP සැකසුම් කරපු Router එක තෝරග්න්නෙ. මේ network එකේදිනම් Router 1 තෝරගන්නෙ අංක 2 path එකයි.
    • RIP සහය දක්වන්නෙ උපරිම 15 hops (RIP සුකසුම් කරන network එක තුල තියෙන් පුළුවන් උපරිම Routers ප්‍රමාණය 15 ක් හෝ ඊට අඩු විය යුතුයි) තියෙන network සදහා පමනයි. 16 hops කියන්නෙ infinity metric එකක්. ඒ කියන්නෙ 16 hops තියෙන path (route) එකකින් කවදාවත් RIP හරහා  data packet තවත් network එකකට යවන්න බැහැ. ඒ කියන්නෙ data packet එක hop 15 වෙන් පස්සෙ discard (අවලංගු) කරනව. network unreachable තියන්නෙත් ඔයවගේ අවස්ථාවක තමයි. 
    • RIPවල දකින්න පුළුවන් අනිත් වැදගත්ම කාරණය තමයි සෑම තත්පර 30 කට වරක් full routing table එකම directly connected Routers සමග බෙදාගැනීමයි.(directly connected Routers මොනවද කියල Static routing යටතේ අපි කතාකලා මතකයි නේද) අන්න ඒ බෙදාගෙන කෑම හරහා තමයි RIP සැකසුම් කරපු Routers අනෙක් Routers වල තියෙන network වලට යන්න route තමන්ගෙ routing table එකට දාගෙන full convergence network එකක් හදාගන්නෙ. ඔය කලින් කියපු බෙදාගෙන කෑම ගැනනම් මම ගොඩක් දේවල් කියල තියෙනව. පල්ලැහැ රුප සටහනත් බලන්නකො එතකොට නියමෙටම තේරෙයි.


                                     
                කලින් පාඩමේදි මම සදහන් කලා Distance vector Routing protocol වල තියෙන ප්‍රධානම දුර්වලතාවයක් තමයි routing loops කියල. RIP එකත් Distance vector Routing protocol එතත් වෙන හින්ද RIP වලත් routing loop ඇතිවෙනව. නමුත් RIP විසින් routing loop වලක්ව ගන්න ක්‍රමවේදයන් කිහිපයක්ම අනුගමනය කරනව. දැන් බලමු ඒ ක්‍රමවේදයන් මොනවද කියල.
    • RIP timers:
                              RIP වල timers කිහිපයක්ම තියෙනව. අපි දැනටමත් එක timer එකක් ගැන කතාකරලත් ඉවරයි, ඒ තමයි RIP මගින් routing update ලබාගන්න පාවිච්චි කරන update timer (තත්පර 30) එක. මේ timer එකනම් routing loops නැතිකිරීම සදහා බාවිතා නොවුනත් මම මෙතනදි සදහන් කලේ එයත් RIP තුල බාවිතා වෙන එක timer එකක් හින්ද. දැන් බලමු අනිත් RIP timers මොනවද කියල.
    1. Invalid Timer -:RIP වලදි invalid timer එක පෙරනිමිතියෙන්ම සැකසිල තියෙන්නෙ තත්පර 180 ලෙසයි. routing table එකට යම් network එකකට අදාල route එකක් ආපුවාම මේ timer එක start වෙනව. ඊට පස්සෙ මේ timer එකේ කාලය වන තත්පර 180 ක් ඇතුලත එම network එකට අදාල route එක update උනොත්  (අනිවාර්යෙන්ම RIP වලදි සෑම තත්පර 30 කට වරක් routing update සිදුවන නිසා යම් network එකකට අදාල route එකක් routing table එක තුලදි සෑම තත්පර 30 කට වරක්ම update වේ. එසේ update නොවන්නේනම් එයින් කියන්නේ එම network එක විසංන්දි වී ඇති බවයි) නැවතත් Invalid timer එක reset වෙනව (මුල සිට ආරම්බ වෙනව). හැබයි තත්පර 180 ක් ඇතුලත එම route එක update උනේ නැත්තම් invalid timer එක මගින් කරන්නෙ එම route එකට infinity metric (16 hops) එකක් assign කරල routing update මගින් අනිත්  Routers වලටත් යැවීමයි. ඒ වගේම එම route එක invalid timer එක මගින් hold-down තත්වයට පත්කරනව.
    2. Hold-Down Timer -:මේ timer එකෙත් පෙරනිමිතියෙන්ම අගය වෙන්නෙ තත්පර 180 යි. invalid timer එක මගින් යම් කිසි route එකක් hold-down තත්වයට පත්කලාට පස්සෙ මේ timer එක start වෙනව. ඒ වගේම තමයි මේ කාලය ඇතුලත මේ route එකට අදාලව එන කිසිම update එකක් routing table එකට දාගන්නෙත් නැහැ. යම් කිසි route එකක් hold-down තත්වයට පත්වෙන්න හේතු කීපයක් තියෙනව. පළමුවෙනි හේතුව තමයි අපි උඩින් කතාකරපු invalid timer එක අවසන් වී තිබීම. දෙවනි හේතුව වෙන්නෙ වෙනත් Router එකකින් routing update එකක් ආවොත් infinity metric (network unreachable) එකක් සමග ඒ route එකත් hold-down තත්වයට පත්කරනව. තුන්වෙනි හේතුව තමයි දැනට අපේ routing table එකේ තියෙන route එකක metrics  (hop count) එකට වඩා වැඩි අගයක් ගන්නා එම route එකටම අදාල update එකක් වෙනත් Router එකකින් ආවොත් එම route එකත් hold-down තත්වයට පත්කරනව.
    3. Flush Timer -:මේ timer එකේ පෙරනිමිතියෙන් අගය වෙන්නෙ ත්තපර 240 යි. hold-down timer එකත් සමගම තමයි flush timer එකත් start වෙන්නෙ. ඒ කිව්වේ යම්කිසි route එකක් hold-down තත්වයට පත්උනාට පස්සෙ එම route එකට අදාලව hold-down timer එකත් flush timer එකත් එකවරම ක්‍රියාත්මක වෙනව. එතකොට hold-down timer එක ඉවර වෙද්දි flush timer එකේ ඉතුරුවෙලා තියෙන්නෙ තත්පර 60 යි (240 - 180 = 60) මේ තත්පර 60 ඇතුලත කාලය garbage collection interval කියලත් කියනව. මේ කාලය ඇතුලතත් Router එක විසින් අනෙක් Routers වලට දන්වනව මෙය network unreachable  route එකක් කියල.අවසාන වශයෙන් flush timer එකේ ඉතුරුවෙලා තිබුනු තත්පර 60ත් ඉවර උනාට පස්සෙ එම route එක routing table එකෙන් ඉවත් කරල දානව.
    ඔන්න ඔය විදියට තමයි RIP විසින් timers යොදාගෙන routing loop  ඉවත් කරගන්නෙ. timers වලට අමතරව RIP විසින් පහත ක්‍රමවේදයනුත් routing loop ඉවත් කිරීමට යොදාගන්නව.
    • Split Horizon : ‍මේ ක්‍රමවේදයෙන් කරන්නේ Router එකක් යම් කිසි network එකකට අදාලව වැරදි route එකක් එහි neighbor Routers වලට යවපුවාම එම neighbor Routers නැවතත් එම route එක එවපු Router එක පැත්තට එම වැරදි route එකට අදාල update යැවීමෙන් වළකිනව. තවත් විදියකින් කියනවනම් වැරදි route එකක් ලබාගත්තු(receive) interface එකකින් නැවත එම route එකට අදාලව update යැවීමෙන්(send) වලකිනව.හරියට මෙන්න මේ වගෙයි.



    • Route Poisoning : මේ ක්‍රමයෙන් routing loop නැති කරන්නේ මෙහෙමයි. Router එකක යම් network බිදවැටුනොත් ඒ network එකට අදාල route එකට infinity metric එකක් (ඒ කියන්නෙ hop count එක 16 විදියට සකස් කිරීම. මම කලින් කිව්ව මතකනෙ hop 16 කියන්නෙ RIP තුලදී ලගා නොවිය හැකි path එකක් කියල) යෙදා neighbor Routers වලට routing update සමග යැවීමයි. එතකොට අනෙක් Routers තමන්ගෙ routing table එකට එම වැරදි route එක දාගත්තත් data packet යවන්න බැරිවෙනව. ඒ කියන්නෙ වැරදි route හරහා data packet යාමෙන් සිදුවන routing loop එක නැතිවෙනව කියන එකයි.
    • Triggered Update:මේ ක්‍රමවේදයෙන් කරන්නෙ Router එකක  network එකක් බිදවැටුනු ගමන්ම ඊට අදාල route එකට infinity metric එකක් assign කරල ඒ වෙලාවෙම අනෙකුත් Routers වලටත් දැනුම් දීමයි. මෙහිදී Router එක update timer එක  (තත්පර30) ගතවෙනතෙක් බලාගෙන ඉන්නේ නැහැ. එවෙලාවෙම network එකේ තියෙන අනෙක් Routers වලටත් එම route එක යවල ඒ හරහා යන data packet නවතා දමනව.
    • Poison Reverse : මේ ක්‍රමයත් RIP සැකසුම් කරපු Routers අතර සිද්දවෙන routing loop මගහරවාගන්න යොදාගන්නව. split horizon ක්‍රමවෙදයට විරුද්ධ ආකාරයත් route poisoning ක්‍රමයෙත් එකතුවෙන්‍ තමයි මේ routing loop ඉවත් කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නෙ. පොඩ්ඩක් හිතල බලන්න, එතකොට තේරෙනව මොකද්ද poison reverse කියන්නෙ කියල.
                                       දැන්නම් RIP වල routing loop ඉවත් කර ගන්න බාවිතා කරන ක්‍රමවේදයන් සේරම අපි බලල ඉවරයි. මේ පාඩමෙන්ම RIP Router වලට සැකසුම් කරන හැටි ලියන්න හිටියත් දැන්නම් ලිපිය ගොඩක්ම දිග වැඩියි. ඒක හින්ද ඊලග ලිපියෙන් ඉක්මනින්ම අපි RIPv1 හා RIPv2 වල තියෙන වෙනස්කනුත් ඒවා Router සදහා  සැකසුම් කරන හැටි  බලමු. ඊට කලින් අමතර කරුනක් විදියට මේකත් මතක තියාගන්න. RIP අනෙක් Routers වලට routing update යවන්න භාවිතා කරන port එක තමයි UDP port 520. මේ පාඩමේ වැරදි තැන් තියෙනවනම් මට පෙන්නල දෙන්න, ඒ වගේම තේරුනේ නැති තැනක් තියෙනවනම් අහන්නත් අමතක කරන්න එපා.දන්න විදියට කියල දෙන්න බලන්නම්. එහෙනම්  ඊලග පාඩමෙන් ඉක්මනින්ම හමුවෙමු. එතකන් කට්ටියන්ටම

    ***** ජය ශ්‍රී *****

    05 September 2011

    CCNA දාසයවන පාඩම Routing iii



    CCNA දාසයවන පාඩම Routing iii 

    (Dynamic routing වරගීකරණය)
           මේ පාඩම කලින් Routing පාඩම් එක්ක සම්බන්ධ හින්ද ඒ පාඩම් බලපු නැති කට්ටිය පාඩම් ටික පහල සබැදියන්ගෙන් බලලම මේ පාඩමට එන්න.
                  Routing i
                  Routing ii
                                                අද මේ පාඩම හරහා කතාකරන්න හිටියෙ අපි කලින් කතා කරපු classfull හා classless Routing protocol එකින් එක ගැන උනත්, ඊට කලින් Dynamic routing වල මුල් වර්ගීකරණය යටතේ කතාකරපු Dynamic routing protocol වර්ග තුන ගැන පොඩි හැදින්වීමකුත් කරන එක හොදයි කියල මට හිතුන. කලින් පාඩමේ කරුනු මතක් වෙන්න ඒ වර්ගීකරණය සදහන් කරපු රූපෙ තමයි ඔය පහලින් තියෙන්නෙ.

                                                              දැන් අපි බලමු මේ එක් එක් Dynamic routing වර්ග වල ලක්ෂණ මොනවද කියල. 

    *** Distance vector Routing protocol:
                                               මේ වර්ගයේ routing protocol සැකසුම් කරල තියෙන Routers ඇති network එකක එම Routers අනෙක් Routers වල routing table වලින් ලබාගත්තු routes (මාර්ග) හා තමන්ගෙ directly connected Network ආශ්‍රයෙන් හදාගත්තු routing table එක, එම Router එකේ සෑම interface එකක් හරහාම , එම interface හා සම්බන්ද අනෙක් Routers වලට යවනව. ඔන්න ඔය විදියට තමයි Distance vector Routing protocol සැකසුම් කරල තියෙන Routers තමන්ගෙ routing table එක හදාගන්නෙ. 
                                        මේ Dynamic routing protocol වර්ගයෙ තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි සම්පුර්ණ Routing table එකම අසල්වැසි Routers (neighbors) වලට යවන එක. අසල්වැසි එහෙමත් නැත්තම් Neighbor Routers කියන්නේඑක් Router එකකට directly connected වී ඇති අනිත් Routers වලටයි. පහත රූප සටහන බලපුවාම මම කියපු neighbor routers මොනවද කියල ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඊට කලින් මේ ටිකත් කියවලම රූප සටහන බලන්න, Distance vector routing protocol වලදි network එකේ තියෙන සෑම Router එකක්ම තමන්ගෙ neighbor Routers ගැන සම්පූර්ණ විශ්වාසයකින් ඉන්නෙ. ඒ කිව්වෙ neighbor Routers හරහා ලැබෙන routing table වල වැරදි route එකක් තිබුනත් ඒක තමන්ගෙ routing table එකට දාගන්න තරම් මේ අය අතර විශ්වාසවන්ත බාවයක් තියෙනව. මේ විදියට Routers තමන්ගෙ neighbor Routers කෙරෙහි විශ්වාසය තබල තියෙන හින්ද මේ ක්‍රියාවලියට කියනව Routing by rumor සිංහලෙන්නම් රවුටර් ඕපදූපය කියලත් කියන්න පුළුවන්..

                                         ඉහලින් තියෙන රූප සටහනේ විදියට නම් RouterA එක තමන්ගෙ සම්පූර්ණ routing table එක RouterB ට හා RouterC ට යවනව. ඊට පස්සෙ RouterB හා C තමන්ගෙ routing table වල නැති route RouterA එක එවපු routing table එකේ තියෙනවද කියල බලල තියෙනවනම් තමන්ගෙ routing table වලට ඒව ඇතුලත් කර ගන්නව. ඊට පස්සෙ RouterB එක තමන්ගෙ අළුත් routing table එකඑකේ neighbors වෙන RouterA හා D වෙත යවනව. එතනදිත් කලින් වගේම Roters තමන්ගෙ routing table වල නැති route තියෙනවනම් ඒව ඇතුලත් කරගන්නව, ඔය විදියටම RouterC එකත් තමන්ගෙ neighbor වෙන RouterA එකටත් RouterD එක RouterB එකටත් තමන්ගෙ සම්පූර්ණ routing table එකම යවාගනිමින් network එකේ තියෙන එක් එක් Router හා සම්බන්ද network සදහා routes (මාර්ගයන්) තමන්ගෙ routing table වලට දාගන්නව. ඔන්න ඔය විදියට තමයි Distance vector Routing protocol සැකසුම් කරල තියෙන Routers තමන්ගෙ routing table හදා‍ගන්නෙ..තව දෙයක් තියෙනව කියන්න කලින් කියපු විදියට routing table neighbors අතර බෙදාගන්න එකට කියනව Route advertise කියලත්.network එකක තියෙන distance vector Dynamic routing protocol සැකසුම් කරපු Routers මේ route advertise කියන ක්‍රියාවලිය එක් එක් routing protocol එකට විශේෂිත වු කාලපරාසයකට වරක් සිදුකරනව (උදා: RIP සෑම මිනිත්තු 30 කට වරක්, මේ පිළිබදව වැඩිදුර එක් එක් routing protocol එක යටතේ කතා කරමු)
                                                    මම කලින් කියපු විදියට Routers අතර routing table නොකඩවා හුවමාරු වීම හින්ද ඒක network එකේ bandwidth එකටත් යම් කිසි බලපෑමක් ඇති කරනව. ඒ වගේම එක් Router එකක ඉදල වැරදි route එකක් තවත් Router එකක routing table එකකට අතුළු උනොත් එමගින් routing loop ඇතිවෙන්න පුළුවන්. routing loop එකක් කියන්නේ, එකම දෙය නැවත නැවත එකම path (මාර්ගයක්) ඔස්සේ නොනවතින ආකාරයට network එක තුල සිද්ධ වීමකටයි. පහත බලන්නකො, එකෙ පියවරෙන් පියවර වැරදි route එකක් හින්ද routing loop එකක් වෙන හැටි පෙන්නල තියෙනව.



                                         routing loops ඇතිවීමත් network bandwidth  එකට බලපානව. තවත් විදියකින් කියනවනම් loops අතිවෙන එකෙන් network bandwidth එක අපතේ යනව. Distance vector Routing protocol වල තියෙන තවත් ගැටළුවක් තමයි slow convergence ඒ කිව්වේ එක් එක් Router වලට අයත් network එකින්නෙක සම්බන්ධ වීමට ගතවන කාලය වැඩියි කියන එකටයි. Distance vector යටතේ තියෙන Dynamic routing protocol ක්‍රමවේදයන් කිපයක්ම යොදාගන්නව network එක තුල සිදුවෙන routing loops මගහරවාගන්න. ඒවා ගැන අපි එක් එක් routing protocol  යටතේ කතා කරමු.ඒ වගේම Distance vector routing protocol විශාල network සදහාද යෙදාගන්නේ නැහැ.

    *** Link-State Routing protocol:
                                        කලින් කතාකරපු වර්ගීකරණයේ තිබුනු routing loops, slow convergence, periodic update (නිශ්චිත කාල පරාසයකට වරක් සිදුවන routing table update), වගේ දුර්වලතා මගහරවන්න තමයි Link-State routing protocol බිහිවුනේ. ඒ හින්දම මේ කාණ්ඩයට අයත් Dynamic routing protocol වලට ඉක්මනින් Router අතර තියෙන network එකිනෙක සම්බන්ධ කිරීමේ හැකියාවක් (high convergence) පවතිනව. ඒ වගේම routing loops මේ network අතර හටගන්නේ නැහැ (නිසිපරිදි Router සැකසුම් නොකල හා සමහර විශේෂිත අවස්ථාවල router loops ඇතිවීමට ඉඩ තිබේ). මේ කාරනා නිසාම ගොඩක් වෙලාවට router configuration සදහා බාවිතා කරන්නෙ Link-State routing protocol යි.
                                           කලින් කතා කරපු Distance vector routing protocol වලදි නම් full routing table එකම neighbor Routers සමග බෙදාගන්නව. නමුත් Link-State routing protocol සැකසුම් කරපු Routers කරන්නෙ තමන්ගෙ network අනෙක් Routers වල ඇති network සමග සම්බන්ධතාවය ගොඩනගාගත්තට පස්සෙ  (‍full convergenve වු පසු, full convergence වෙන තෙක් Routers  තමන්ගෙ routing table neighbors සමග හුවමාරු කරගනී) routing table එකේ වෙනස් උනු route තියෙනවනම් ඒව විතරක් අනෙක් routers වලට යැවීමයි. උදාහරණයක් විදියට මෙහෙම හිතමු, 
    Link-State dynamic routing protocol සැකසුම් කරපු Router කිහිපයක් තියෙනව. එක් Router එකකට සම්බන්ධ network එකක් මොකක් හරි හේතුවක් හින්ද බිද වැටුනොත් එම Router එක ඒ බිද වැටුන network එකට අදාල path එක තමන්ගෙ routing table එකේ සලකුනු කරගෙන ඒ වෙනස් උන route එක විතරක් අනෙක් Routers වලටත් ඒ වෙලාවෙම දන්වනව. ඒක හින්දම Routers වලට පුළුවන් වෙනව network අතර සම්බන්ධතාව නැවතත් ඉක්මනින්ම ගොඩනගාගන්න. ඒකට තමයි අපි කලින් කියපු high convergence කියල කියන්නෙ. මේ high convergence එක හින්ද Link-State routing protocol විශාල network වලට උනත් බාධාවක් නැතුව යොදාගන්න පුළුවන්.
                                                          Distance vector routing protocol සැකසුම් කරපු Routers අනෙක් Routers වල තියෙන network හා සම්බන්ද වෙන්න routing table එකක් බාවිතා කලා, නමුත් Link-State routing protocol මේ routing table එකට අමතරව තවත් table දෙකක් යොදාගන්නව කාර්යක්ෂමව අනෙකුත් network හා සම්බන්ධ වෙන්න. දැන් අපි බලමු ඒ table මොනවද කියල.
    1. Neighbor Table:  කලින් අපි neighbors ල ගැන කතාකෙරුව මතකයිනෙ, අන්න ඒ neighbors ල හා එම එක් එක් neighbors සම්බන්ධ වෙලා තියෙන interface පිළිබද තොරතුරු තමයි මේ table එකේ තියෙන්නෙ. මේ neighbor table එක නිර්මාණය කරගන්න Link-State router protocol විසින් Hello packet කියල දෙයක් භාවිතා කරනව (hello packet ගැන routing protocol අතර තුර කතා කරමු).
    2. Topology Table:  මේකටම කියනව database table කියලත්. මේ table එකේ තමයි Router එකට අනෙක් network හා සම්බන්ධ වෙන්න පුළුවන් සියළුම routes (මාර්ගයන්) ගබඩා වෙලා තියෙන්නෙ.
    3. Routing Table:   මේ table එකට තියන තවත් නමක් තමයි Shortest-path table. එතකොටම කියන් පුළුවන් නේද මේ table එකේ තියෙන්නෙ මොනවද කියල. topology table එකේ තියෙන routes වලින් එක් එක් network වලට සම්බන්ධ විය හැකි හොදම මාර්ගයන් (best path) තමයි මේ table එකට ඇතුලත් වෙලා තියෙන්නෙ.                                       
                                                    Link-State routing protocol වල loop නඅති වීම නිසාත්, full routing table නැතුව updates පමනක් Routers අතර බෙදාගන්නා නිසාත් network තුල bandwidth කාර්යක්ෂමව යොදාගන්න පුළුවන්. ඒ වගේම මේ වර්ගයට අයත් Dynamic routing protocol, Table තුනක් සමග මෙහෙයුම් කටයුතු සිදුකරන කරන හින්ද Router එකේ RAM හා CPU භාවිතාව වැඩිවශයෙන් යොදාගැනීමක් සිදුකරනව කියලත් මතකයේ තියාගන්න. ඊට අමතරව Distance vector routing protocol වලට වඩා Link-State routing Protocol සැකසුම් කිරීම තරමක් අමාරුයි.

    *** Hybrid:   
                                මේ ගැනනම් කියන්න ඕනෙත් නෑනෙ.දැන් බලන බලන තැන දෙමුහුන් එහෙමත් නැත්තන් ඔය කියන ජාතියෙන් හදපු වාහනත් තියනවනෙ. මේකත් ඒ වගේම තමයි. Distance vector හා Link-State කියන දෙවර්ගයේම ගති ලක්ෂණ තියෙන හින්ද තමයි මේ කොටසට අයත් Dynamic routing protocol වලට Hybrid කියල කියන්නෙ.

    ඊලග පා‍ඩමෙන් අපි මේ එක් එක් වර්ගයට අයත් Dynamic routing protocol වෙන වෙනම අරගෙන ඒවාට සුවිශේෂී ලක්ෂණ හා ඒවා Router සදහා සැකසුම් කරන ආකාරය ගැන වැඩිදුරටත් කතා කරමු. එතෙක් ඔබට 

    *****ජය ශ්‍රී*****

    LinkWithin

    Related Posts Plugin for WordPress, Blogger...